latest news

Friday, January 6, 2017

බදුලු කෝච්චියේ බෝම්බ කතාව පිටුපස සිටි මේ අවුරුද්දේ උසස් පෙළ ලියන සිසුවිය ගැනයි

No comments
al

බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසිය වෙත අසත්‍ය තොරතුරක්‌ ලබා දීමේ චෝදනාව මත කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (04 වැනිදා) නියෝග කළාය.
මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය මෙම පාසල් ශිෂ්‍යාවට දැඩි ලෙස අවවාද කළ අතර ඇගේ දෙමාපියන්ට ද තම දියණිය කෙරෙහි මීට වඩා අවධානයකින් සිටින ලෙස අවවාද කර තිබේ.
මෙම පාසල් ශිෂ්‍යාවගේ පෙම්වතා මිතුරන් පිරිසක්‌ සමඟ ඉකුත් 26 වැනිදා බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන් ප්‍රදේශයේ චාරිකාවක්‌ යැමට සූදානම් කරගෙන සිට ඇත. මෙම චාරිකාව යැමට පාසල් ශිෂ්‍යාව කැමැත්ත පළ කර නැත.
පාසල් ශිෂ්‍යාව තම පෙම්වතාගේ විනෝද චාරිකාව නතර කිරීමේ අරමුණෙන් ඔහු මිතුරන් සමඟ හැටන් බලා ගමන් ගැනීමට නියමිතව තිබූ තැපැල් දුම්රියේ බෝම්බයක්‌ තිබෙන බවට පොලිසියට දැනුම් දීමක්‌ කර තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.
පාසල් ශිෂ්‍යාව 119 හදිසි ඇමතුම් ඒකකය වෙත ඇමතුමක්‌ ලබා දී පවසා ඇත්තේ තමන් බදුල්ල බලා යන රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් කරන තරුණියක්‌ බවත්, තමන් අසල සිටි පුද්ගලයකු වෙනත් අයකු සමඟ දුරකථනයෙන් කතා කර බදුල්ල දුම්රියේ බෝම්බයක්‌ සවිකළ බව පැවසූ බව තමන්ට ඇසුණු බවත්ය.
එම තොරතුර සැලවීමෙන් පසු කොටුව දුම්රිය ස්‌ථානයට පැමිණි පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය බදුල්ල බලා යැමට තිබූ රාත්‍රි තැපැල් දුම්රිය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළහ.
එහෙත් සැකකටයුතු කිසිවක්‌ සොයා ගැනීමට පොලිසිය සමත් නොවීය. හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳව සැක පහලකළ කොටුව පොලිසිය ඒ පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූයේ මෙම තොරතුර අසත්‍ය එකක්‌ බවය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ පැවැත්වූ කොටුව පොලිස්‌ ස්‌ථානාධිපති ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු මෙම ඇමතුම ලබාදුන් තරුණිය සොයා ගත්හ.
කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි තරුණිය 18 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවකි. ඇය මේ වසරේ අ.පො.ස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින ශිෂ්‍යාවකි.
කොටුව මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ශිෂ්‍යාව කර ඇති වරද ඉතාම බරපතළ එකක්‌ බවත් ඇය අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින ලාබාල ශිෂ්‍යාවක්‌ නිසා අවවාද කර ඇප මත මුදා හරින බවත් ය.
හේමන්ත රන්දුණු සහ ඒ. ඡේ. ඒ. අබේනායක
දිවයින

ads

News

Latest News

Gossip

Gallery

News Videos